HeadPhone එකක් ගන්න කලින්? [How to choose a better headphone]
March 29, 2019headphone එකක් ගන්න ගියාම [ in ear headphone,earbuds , over ear , on ear මෙකී නොකී සියල්ල.....] වටින මග පෙන්වීමක් දෙන්න තමා යන්නෙ. සිංහලෙන් ලියවුන විස්තරයක් මම දැක්කෙ නෑ Google කලාම එන සෙට් එකේ. ඉතින් ලියන්න හිතුන කාට හරි වටීවි කියල.
ම්ම්ම් කොහොමද පටන් ගන්නේ. හරි .මොකක් හරි හඬක් ඇහෙන විදිය දන්නවද අපිට ? ධ්වනි තරංග ඇවිත් අපේ කනේ කර්ණපටහ පටලය(කන් බෙරය) කම්පනය කරද්දි තමා අපිට ඇහෙන්නේ. මේ ධ්වනි තරංග වල 20Hz-20000Hz අතර පරාසයට තමා සාමාන්‍ය මිනිස් කනක් සංවේදී වෙන්නෙ. ඒ කියන්නේ අපි සිංදු අහන්න ගන්න මුලින් කිව්ව ඕනම device එකක් මේ පරාසය අතර තිබ්බම ඇති .
මේ sound wave ( ධ්වනි තරංගයක ) සංඛ්‍යාතය ( frequency) ගැන පොඩි අදහසක් දෙන්නම් . ඔයා A/L physics කලා නම් මේ ටික අත ඇරල පනින්න පුලුවන් පහලට ,
click to jump
සද්දය අපේ කනට ඇහෙන්නේ කොහොමද ? කර්ණපටහ පටලය(කන් බෙරය) කම්පනය වෙන්නේ කොහොමද ඉතින් සබ්දය නිසා .
මෙහෙම හිතන්න නිසල වතුර බේසමකට ඔයා තට්ටු කරගෙන යනව කියල. බේසමේ රැලි ඇති වෙනව නේද එතකොට.සමහර තැන් උස් වෙනව සමහර තැන් පහත් වෙනව. එක එක රැලි ගිහින් වදිනව වගේ පේනවා නේද බේසමේ කෙලවර.අන්න ඒ වගේ සබ්දයත් උස් හා පහත් තැන් විදියට ඇවිල්ල කන් බෙරයේ වදිනව කියල හිතන්න. ඒ උස් තැන් සම්පීඩන පහත් තැන් විරලන කියල හදුන්වන්නෙ.උස් තැන්(සම්පීඩනන) වායු පීඩනය වැඩී , පහත් තැන්(විරලන) වල වායු පීඩන අඩුයි. අන්න ඒ පීඩන වලට අනුව කන් බෙරය කම්පනය වෙලා තමා සබ්දය ඇහෙන්නෙ.
හරි මට මේ සීන් ඔක්කොම ඔයාගෙ ඔලුවට දාන්න ඕන වුනේ නෑ ,
වතුර රැලි ඇසුරෙන් සංඛ්‍යාතය ගැන තමා ඔලුවට දාන්න ඕන ඕන වුනේ. ඒක පොඩ්ඩක් අයිඩියා එකක් ආව නම් ඇති ඈ.
දැන් බලමු මොකක්ද මේ සංඛ්‍යාතය කියල . ඔයා බේසමට හිමින් තට්ටු කරන් යන්න. දැන් වේගෙන් තට්ටු කරන් යන්න. දැක්කද එතකොට එක එක ප්‍රමාන වලින් රැලි ඇති උනා. පහල රූප වලින් බලමු රැලි ඇති උන විදිය.
මේ වගේ රැලි , sound wave වලත් ඇති වෙන්න පුලුවන් ඉතින් උඩ රූප වල වගේ . සමහර වෙලාවට එක ලග රැලි පොඩ්ඩයි.වෙලාවට ගොඩයි.
පහල රූපයේ වගේ සම්පූර්ණ රැල්ලක් තමා සම්පූර්ණ ධ්වනි තරංගයක් විදියට ගන්නේ.
තප්පරයක් ඇතුලත ඇති වන රැලි (ධ්වනි තරංග) ගනන තමා සංඛ්‍යාතය කියල හදුන්වන්නේ.සංඛ්‍යාතය මනින්නේ Hz වලින්.
මෙහෙම හිතන්න, ඔන්න ඔයා හිමින් තට්ටු කරගෙන යනව බේසමට පැත්තකින් stopwatch එකක් තියල. තප්පරයක් යද්දි ඔයාට රැලි දෙකක් හදන්න පුලුවන් උනා. ඒ කියන්නේ තප්පරයක් යනකොට රැලි දෙකක් හැදුව නිසා සංඛ්‍යාතය 2Hz.
වේගෙන් තට්ටු කරන් යන්න දැන්. තප්පරයක් යද්දි ඔයාට රැලි 10යක් හදන්න පුලුවන් උනා. ඒ කියන්නේ සංඛ්‍යාතය 10Hz.මේ වගේ සංඛ්‍යාතය 20Hz ඉදන් 20000Hz වෙනකම් මිනිස් කන සංවේදී.
හරි ඒනම් සංඛ්‍යාතය මූලික දේවල් ඔච්චරයි. දැන් පොඩ්ඩක් වැඩි දියුණු කරන්න යන්නේ ඉගෙන ගත්ත දේවල්.
මම මෙච්චර වෙලා කතා කලේ එකම විදියට ඇති වෙන රැලි නේද .ඒ කිව්වේ ඒවගේ උසවල් (විස්තාර ) එක සමානයි නේහ්.
දිගින් දිගටම එකම ශබ්දය ඒ කියන්නේ.ඕක නිකන් කී............. ගාල සද්දයක් එන්නේ . ඒ වගේ සද්ද නෙවෙයි නෙහ් සිංදු වල තියෙන්නේ. සිංදු වල සද්ද වෙනස් වෙනව නෙහ් . ඒ කියන්නේ අර ලස්සනට එකම සයිස් එකට ආව රැලි වෙනුවට සැරින් සැරේ වෙනස් වෙනස් වෙන ප්‍රස්තාරයක් තමා එන්නේ.
දැකල පුරුදු ඇති නේද උඩ වගේ ඒවා ඕන තරම් . දැන් දන්නව නේහ් මොනාද ඒ කියල. මම උඩ විදියෙ ප්‍රස්තාර use කරේ නෑ ඔයාගෙ පහසුවට කලින් වගේ සයින් ආකාරයේ ප්‍රස්තාරම පාවිච්චි කලා හොදද .එහෙනම් මූලික දැනුම පාඩම ඉවරයි
දැන් එහෙනම් headphone වර්ග ගැන කතා කරමුද.සරලව දැන ගන්න ඕන දේවල් ටික කියන්නම්.
01) Earbuds
earbuds කියන්නේ ඉස්සර අපි use කරපු උඩ රූපයේ ජාතියෙ ඒව . ඔව්ව නම් දැන් ගොඩක් අය use කරන්නේ නෑ. කන සීල් වෙන්නේ නැති නිසා එච්චර හොද ගුණාත්මකභාවයක් බලාපොරොත්තු වෙන්න බෑ.
02) In Ear
මේව කනේ ඇතුලට සීල් වෙන නිසා ගුණාත්මකභාවය earbuds වලට වඩා වැඩී කියන්න පුලුවන් සාමාන්‍යෙන්.
03) On ear , Over ear haedphones
මේවා ජාති දෙකක් .
on ear එක කන උඩින් දාන්නේ.මුලු කනම වැහිල සීල් වෙන්නේ නෑ.
over ear එකට මුලු කනම වැහෙනවා. ඉහල සංගීතාස්වාදයක් ලබා ගන්න හොදම තේරිමක් තමා over ear එකක් කියන්නේ.
Wireless
උඩ කියපු වර්ග headphone jack එකක් නැතුව bluetooth වගේ wireless ක්‍රමයකට අපේ lap,phone එකට connect කරන්න හැකියාව තියන ඒව තමා මේ. wireless ඉහල ගුණාත්මකභාවයක් සහිත headphone එකක් මිලෙන් වැඩියි සාමාන්‍යෙන් .Bone conducting headphones
මේක අහල නැති වෙන්න පුලුවන් ඔයා ඒත් මේ තාක්ෂණය ගැන ගොඩක් ඉස්සර ඉදන්ම research කරල තියෙනව.මේකේදි වෙන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යෙන් ශබ්දය අපිට ඇහෙන්නෙ කන්බෙරය කම්පනය වෙලා ඒකෙන් කම්පන කර්ණශංඛයට සම්ප්‍රේෂණය වෙලා ඒ කම්පන ශ්‍රවන ස්නායු හරහා මොලයට ගිහින්. ඒත් bone conducting headphone වලින් කන්බෙරයේ වැඩේ කරනවා. ඒ කියන්නේ අපේ කන්බෙරයේ දායක වෙන්නේ නෑ මේ වැඩේදි.කන්බෙරයෙන් ඇත් වෙනව වගේ කම්පන headphone එකෙන් කෙලින්ම අස්ථි හා සමට සම්ප්‍රේෂණය කලාම ඒව කෙලින්ම කර්ණශංඛයට යන්නෙ.
මේ වර්ගයේ headphone ඇවිදින්න යද්දි එහෙම හොදයි මොකද පිටතින් එන ශබ්ද ඇහෙන එකට බාදාවක් නැති නිසා.මේවට සමහර අය චෝදනා කරනවා bass අඩුයි,noice distortion වැඩී එහෙම කියල. ගෙදර ඉද්දි වගේ අහන්න නම් මේකක් ගන්නවට වඩා සාමාන්‍ය එකකට යන එක හොදයි..
එච්චරයි එහෙනම් headphone වර්ග ගැන කියන්නේ. ලොකූවට කිව්වේ නෑ ඕව සාමාන්‍යෙන් ගොඩක් දෙනා දැකල තියන දන්න කරුණු නිසා සහ ලේසියෙන් හොයා ගන්න පුලුවන් කරුණු නිසා. අවුලක් නෑ නෙහ්.
දැන් තමා එහෙනම් හරි හමන් සිංහල විස්තරයක් නැති දේවල් ගැන කතා කරන්න යන්නේ.ඒ වගේම දැන් headphone ගැන කතා කරද්දි වැදගත් වෙන විස්තර ටිකක්.
ඔන්න අවදානෙන් කියවන්න.
FREQUENCY RESPONSE
හරි එහෙනම් ඔයාට දැන් සංඛ්‍යාතය (frequency) ගැන හොද අයිඩියා එකක් තියෙ නෙන්.දැන් බලමු මොකක්ද මේ frequency response කියන්නේ කියල. normal frequency response එක පරාසයක් විදියට manufactureලා (නිෂ්පාදකයො) එවනවා. මම පටන් ගද්දිම ඔයාට පැහැදිලි කලා සාමාන්‍ය මිනිස් කනක් සංවේදී 20Hz-20000Hz සංඛ්‍යාත පරාසයකට කියලා. ඒ නිසා හුගක් headphone ඔන්න ඔය පරාසයට ආසන්නයෙන් යන range තමා normal frequency response පාරාසයට දෙන්නේ. සමහර විට ඒ පරාසයට ටිකක් එහාට යන්නත් තියෙන්න පුලුවන්. දැන් ඔයාට මෙහෙම හිතෙයි ආහ් ඒ කියන්නේ 20-20000 තියෙනව කියන්නේ සුපිරි එකක් තමා කියලා. ඒත්.....ඒමම කියන්න අමාරුයි.
ඒකට අපිට පාවිච්චි කරන්න පුලුවන් headphone එකේ frequency expectrum graph එක.ඒක headphone එකේ box එකේ වගේ ගහල තියෙ නැත්තම් online හොයාගන්නත් පුලුවන් ගොඩක් වෙලාවට.
ඒවගේ x අක්ෂය දිගේ frequencies ලකුණු කරල තියෙ ලඝු ක්‍රමයකට. y අක්ෂය දිගේ ඒ frequency එකට අදාල decibel response එක. තේරෙන්න කියනව නම් අදාල frequency එකට කොච්චර හොදට headphone එකට ප්‍රතිචාර දක්වන්න පුලුවන්ද කියන එක.
තවත් තේරෙන සිංහලෙන් කියනවට වඩා අපි උදාහරණයක් අරගෙනම බලමු.
දැන් අපි මේ A කියල mark කරපු තැන බලමු. 50Hz frequency එකකට 110ක decibel response එකක් දෙනව. ඉතින් මේ decibel response එක ඉහල අගයක් ගන්නව කියන්නේ අදාල frequency එකට ඉහල හඬක් දෙන්න පුලුවන් කියන එක.
B කියල mark කරපු තැන decibel response එක ගොඩක් පහලයි කියන්නේ අදාල frequency එකට ඉහල හඬක් දෙන්න බෑ කියන එක. decibel වලින් මනින්නේ ධ්වනි ත්‍රීව්‍රතාව (හඩේ සැර) හරිද.
දැන් අයිඩියා එකක් ආව නේද frequency expectrum graph එක කියවන විදිය ගැන.
තව වැදගත් දෙයක් තමා මේ graph එකේ එක වරම (sudden) වෙන ලොකු උස් පහත් වීම් අඩු වෙන තරමට හොදා. මොකද ඒ කියන්නේ සිංදුවක් අහද්දි සංඛ්‍යාතය ක්‍රමයෙන් වෙනස් වීගෙන හරියක් ආව කියමුකො අරෙහෙම එක වර වෙනසක් තියන හරියක, එතකොට එක පාර හඩේ වෙනසක් දෙනවා ලෙවල් නැති විදියට.
ඊලගට අපි මේ graph එක බෙදන්න යන්නේ කොටස් කීපයකට හරිද. මේ දේවල් නම් ඔයා අහල ඇති ඕන තරම් .බලමුකො.
Low(bass) - 20Hz-250Hz
Mid - 250Hz-2kHz
High(treble) - 2kHz-20kHz
දන්නව නෙහ් ලොවෙත් bass,treble එහෙම නම් නේද. ඒව විස්තර කරන්නේ නෑ හරිද
ඕකම ආයෙ අනු කොටස් වලට බෙදන්න පුලුවන් මෙහෙම. මේක නම් ලොකූවට ඔලුවට ගන්න ඕන නෑ. දැන ගන්න දාන්නෙ.
Sub-bass 20 to 60 Hz
Bass 60 to 250 Hz
Low midrange 250 to 500 Hz
Midrange 500 Hz to 2 kHz
Upper midrange 2 to 4 kHz
Presence 4 to 6 kHz
Brilliance6 to 20 kHz
හරි එහෙනම් ඒ ටිකත් දැන ගත්ත නිසා වැඩි දුර අද්‍යනයක් කරමු frequency response ගැන.
ඔයා bass lover කෙනෙක් කියමුකො.එතකොට පහල රූපෙ වගේ frequency expectrum graph එකේ Low පැත්ත හොදට response කරන headphone එකක් තමා ඔයාට ගැලපෙන්නේ.
ඔයා classical වගේ පැත්තට නම් බර ලොකුවට bass වලට කැමති නැත්තම් frequency expectrum graph එකේ Mid High පැත්ත හොදට response කරන headphone එකක් තමා ගැලපෙන්නේ.
දැක්කද ඒ කියන්නේ ඔයාගේ කැමැත්ත අනුව තමා හෙඩ්ෆෝන් එක තෝර ගන්න ඕන.
මේ විදියට බලල හෙඩ්ෆෝන් වර්ග 3 කට බෙදන්න පුලුවන්.
Warm sound
මේ headphone Low පැත්ත හොදට response කරනවා.ඒ කියන්නේ හොඳ punchy Bass එකක් අත්විදින්න පුලුවන් ගොඩක් මේ ජාතියේ headphones වලින්.Bright sound
මේ headphone mid , high පැත්ත හොදට response කරනවා කියන එක අදහස් වෙන්නේ,ඉහල treble එකක් අත්විදින්න පුලුවන් මේවගේ.Neutral sound
ම්ම්ම්ම් ...මේක නම් ටිකක් ලොකු සීන් එකක්.music producers, recording artists, mix and master engineers, audiophiles වගේ අය හොයන්නේ හැකිතාක් neutral sound දෙන්න පුලුවන් headphone.neutral වචනයෙන්ම අදහස් වෙනවා වගේ bass පැත්තවත් mid treble පැත්තටවත් විෂේශයෙන් බර නැති මැදි headphone තමා මේවා.ඒ කියන්නේ frequency expectrum graph එක සරල රේඛාවක් වෙන්න ඕන නෙහ්.
100% neutral sound දෙන headphone හදල නෑ හැකි තාක් ආසන්න වෙන්න තමා හදන්න පුලුවන් වෙලා තියෙන්නේ.මේවා සාමාන්‍යෙන් මිලෙන් අදිකයි.ගොඩක් වෙලාවට bright පැත්තට බරයි වගේ දැනෙන්නේ ඒවගෙන්.
audiophilesලාගේ target එක වෙන studio එකේ produce කරන quality එක ඒ විදියටම නිවසේදී අත්විදින්න තමා මේ neutral headphoneම හොයාගෙන යන්නේ. මොකද ඇත්තම කියනව නම් සාමාන්‍යයෙ න් headphone එකක් studio එකේ ගහපු quality එකෙන්ම සිංදුව play කරන්නේ නෑ. මොකද මිනිස්සුන්ට එකිනෙක වෙනස් කටහඩක් තියනව වගේ headphone එකකටත් ඒකටම ආවේනික හඩක් තියෙ ඒක design කරල තියන විදිය අනුව.මොකද කොච්චර කලත් headphone එක යම් සංඛ්‍යාතයකට/සංඛ්‍යාත පරාසයකට හොදින් ප්‍රතිචාර දක්වනවා හැම පරාසයකටම එකම විදියට ප්‍රතිචාර දක්වනවා වෙනුවට.
DRIVERS
දැන් කතා කරන්න යන්නේ drivers ගැන. ඔයාල දැකල ඇති සමහර විට IEM ( in ear monitors) එකක් ගන්න එහෙම යද්දි ඒවගෙ details වල " 2BA+1DD " එහෙම නැත්තම් " 5 Balanced Armature drivers " , " 2 Dynamic and 2 Armature Drivers" වගේ එහම ගහල තියනවා. මොනාද ඒ ?
ෆෝන් එකේ, ලැප් එකේ ආදී digital device වල audio files තියෙන්නේ binary file විදියට නෙහ්. ඒව electrical signals විදියට තමා headphone එකට යන්නෙ.මේ drivers වලින් තමා electrical signal ,ධ්වනි තරංග (sound waves) බවට පරිවර්තනය කරල අපිට අහන්න සලස්වන්නේ.
1) Dynamic Drivers
මේ තමා ජනප්‍රියම සහ වැඩියෙන්ම headphone වල පාවිච්චි වෙන drivers වර්ගය. මේව තමා ලාබදායකම වර්ගයත්. මේවගේ diaphragm එක (ඉස්සරහ තියන බෙරය වගේ එක) එහා මෙහා වෙනවා. voice coil එක electrify කරද්දි එක් දිශාවකටත් ,නැති කරද්දි ආයෙ ඊට විරුද්ධ දිශාවටත් . මේ ක්‍රියාව වේගයෙන් වෙද්දි වාතයේ සම්පීඩන හා විරලන ඇති වෙනවා . එතකොට ශබ්දය ඇති වෙනව.
වාතයේ ඇති කරන මේ විස්තාපන (air displacement)ලොකු වෙන තරමට ශබ්දයත් වැඩි.ඒ වගේම air displace එක වැඩි වෙන තරමට realistic bass ගතිය වැඩි වෙනවා. ඉතින් මේ drivers සාමාන්‍යෙන් ටිකක් ලොකුයි.
diaphragm එක move වෙද්දි හෙඩ්ෆෝන් එක ඇතුලෙ air pressure එක අඩු වැඩි වෙනවා. diaphragm එක ලොකු වෙන්න වෙන්න වෙන්න මේක වැඩී. මේ හේතුව හින්ද diaphragm එක හරියට vibrate කරන්න බැරි වෙනව.තේරුනාද සීන් එක.
සිරින්ජර් එකක් අරන් ඕකෙ ඇතුලේ රබර් කෑල්ල තමා diaphragm එක කියල හිතන්න. දැන් ඇගිල්ලෙන් ඉස්සරහ කට වහන් සිරින්ජ් එක පාත් කරන්න බලන්න.යන්නේ නෑ නෙහ් හරියට ඇතුලේ වාතය හිර වෙලා නිසා.දැන් ආයෙ උඩට අදින්න බලන්න ඇගිල්ල තියාගෙනම.අමාරුවෙන් ඇද ගත්තත් මිට අත ඇරපු ගමන් සටස් ගාල ආයෙ පහලට ඇදුන නෙහ් සිරින්ජ් එකේ ඇතුලෙ වායු පීඩනය පිටත පීඩනයට වඩා වැඩි හින්ද. මේ ඔක්කොම උනේ සිරින්ජ් එක අපි කට වහල සීල් කරපු නිසා නෙහ්.මෙන්න මෙහෙම සීල් වෙන එක නතර කරන්න තමා සාමාන්‍යෙන් headphone වල air vents තියෙන්නෙ.( අර පොඩි සිදුරු තියෙන්නෙ headphone වල එව්ව )
මේවට 20Hz-20kHz පරාසයම කවර් කරන්න හැකියාව තියනවා. ඒත් higher volumes වලදි audio distortions එන්න පුලුවන් ප්‍රශ්නය තියනවා.
2) Balanced Armature
IEM එක්කල ගොඩක් දැන් ගොඩක් එන drivers වර්ගයක් තමා මේක.
මේ drivers coil එකක් වටේ ගිය miniature arm (armature) ,magnet එක සහ armature එකත් එක වෙනම සම්භන්ද උන diaphragm එකකින් සමන්විත වෙනව.coil එක electrify වෙද්දි armature එක magnet එකේ ධ්‍රැව අතරේ චලනය වෙනවා. ඒකට සමගාමීව diaphragm එකත් චලනය වෙලා ශබ්දය ඇති වෙනවා.කෙටියෙන් කිව්වේ හරිද.
මේවගේ විෂේශත්වක් තමා වන්නේ DD(dynamic drivers) වලට වඩා කුඩා වීම. ඒ නිසා වේගෙන් චලනය කරවන්න පුලුවන්. අන්න ඒ හින්දා මේවට සියුම් සංඛ්‍යාත වෙනස්වීම් වලට හොදට responce කරන්න පුලුවන්.
දැන් මතක නේද පටන් ගද්දිම සංඛ්‍යාත ගැන කියල දුන්න ඒව. මතකද High එහෙම තියෙන්නේ ඉහල Hz පරාස වල කියල. ඒ කියන්නේ තප්පරයක ඇති කරන්න ඕන ධ්වනි තරංග සංඛ්‍යාව ඉහලයි. ඒ කියන්නේ වේගයෙන් වාතය කම්පනය කරන්න වෙනව කියන එක නෙහ්. ඉතින් මේව පොඩි නිසා ඉතා පහසුවෙන් වේගවත් කම්පන කරන්න පුලුවන්.
මේව මිලෙන් වැඩි DD වලට වඩා . ඒ වගේම මේ එකකින් 20Hz-20kHz පරාසයම නියෝජනය කරන එක effective නෑ. ඒ වෙනුවට Drivers කීපයක් විවිද පරාස නියෝජනය කරන්න tune කරන්න පුලුවන්. එතකොට ඒවට පුලුවන් ඉහල accuracy එකකින් ඒ frequency range එකට response කරන්න.මේ නිසා more detailed sounds (චූටි වෙනස්කම් පවා සහිත සවිතරාත්මක ස්වුන්ඩ්ස්) දෙන්න හැකියාව තියේ මේවට.ප්‍රෂ්නයකට තියෙන්නේ මේවට DD වගේ bass දෙන්න අමාරුයි.
ඒත් DD එක්කල එකට මේ BA (Balanced Armature) වලට වැඩ කරන්න පුලුවන්. ඒ නිසා Bass දෙන්න DD එකක් එක්කල BA drivers කීපයක් තියන headphone එනවා දැන්.
ඊලගට ඔයාට මතු වෙන ප්‍රෂ්නේ ,
Drivers ගොඩක් තියනව කියන්නේ සුපිරිද කියලා. ඒක නම් එහෙම කියන්න බෑ.ඒක headphone එකේ manufacture අතේ තියෙන්නේ.සුපිරියට tune කලොත් සුපිරියක් හදන්න පුලුවන්. ඉතින් එහෙම නොකර එව්වම drivers කීපයක් තියන headphone එකට වඩා DD එකක් විතරක් තියන headphone එක හොද වෙන්නත් පුලුවන්.
DD + BA IEM වලට noise isolation කරන්න පුලුවන් හැකියාවක් දෙන්න පුලුවන්. මොකද මේව හදන්න පුලුවන් Air vent එකක් නැතුව.ඉතින් හොදට කන සීල් වෙන IEM එකක noise isolation හොද තත්වයකින් කරන්න හැකියාව තියෙනව. එතකොට කලින් කිව්වා නේද DD වලට සාමාන්‍යෙන් air vent ඕන කියලා.ඔව් ඒත් ඒ headphone වල හඬ නිපදවීමේ කාර්‍ය සම්පූර්ණයෙන්ම කරන්නේ DD එක නිසා හුගක් පොඩියට හැදුවොත් ඉහල volume වලට යන්න අමාරු වෙනවා. ඒත් මේවගේ bass එක දෙන වැඩේ විතරයි කරන්නේ DD වලින්. අනික් frequency range BA වලින් දෙන නිසා DD එක පොඩි කරන්න පුලුවන් IEM එකක බේස් එක විතරක් දෙන්න සරිලන ගානට.ඉතින් පොඩි diaphragm එකක් move වෙද්දි ලොකු පීඩන වෙනස්කම් එන්නේ නෑ නෙහ් කලින් වගේ.ඒ නිසයි air vent නැතුව හදන්න හැකියාව ලැබෙන්නෙ.
3) Planar magnetic driver
orthodynamic driver කියලත් හදුන්වන මේව ගොඩක් සිහින් drivers ජාතියක්. over ear high end headphone වල තමා එන්නේ සාමාන්‍යෙන්.DD වලට බොහෝ දුරට සමාන විදියකට තමා මේවා වැඩ කරන්නේ.මේවගේ වෙනස තමා coil එක හරහා diaphragm එක vibrate කරනව වෙනුවට කෙලින්ම diaphragm එක vibrate වෙනවා. මේ වැඩේට ටිකක් ලොකු බලයක් ඕන නිසා වැඩි power එකක් audio source එකෙන් හෝ external amplifier හරහා අරන් තමා මේවා පාවිච්චි කරන්න පුලුවන් සාමාන්‍යෙන්.මේවගේ පාවිච්චි වෙන ප්‍රමාණයෙන් විශාල සහ සිහින් diaphragm එක නිසාත් බලයෙන් වැඩි චුම්භක නිසාත් වැඩි වාත ප්‍රමානයක් කම්පනය කරල ඉතා හොද bass එකක් දෙන්න හැකියාව තියෙ.
මේවා හුගක් මිල වැඩි සාමන්‍යෙන් .නිකමට aliexpress එකේ වගෙ search කරල බලන්න Planar magnetic driver headphones කියල .ටහුඩු වෙන ගනන් ටිකක් පෙන්වයි. ඉතින් මම ඊටත් එහා තියන Electrostatic drivers ගැන එහෙම නම් කියන්න යන්නෙත් නෑ . drivers ගැන කොටස මෙතනින් නිමා කරනවා.
මේ කොටසෙම මම impedance එක ගැනත් කියන්නම්. ඒකෙන් අදහස් වෙන්නේ සරලව හෙඩ්ෆෝන් එකේ විද්‍යුත් ප්‍රතිරෝදීතාව. Planar magnetic driver සහ එතනින් එහා drivers තියන headphones ගොඩක් වෙලාවට ඉහල impedance එකක් සහිතව එන්නේ.
8-32ohm අතර හෙඩ්ෆෝන් වලට පුලුවන් phone එකෙන් දෙන voltage එකෙන් වැඩ කරන්න.32-100ohm වෙනකම් ඒව සමහර phone එක්කල වැඩ.100+ ohm ඒවට නම් amplifier එකක් ඕන බොහෝ දුරට phone එකෙන් අවශ්‍ය වෝල්ටේජ් එක දෙන්න බෑ.
Tips for Better sound experience
1) DAC
අහල තියෙන්න පුලුවන් මීට කලින් මේ ගැන ඔයා. කොහොම හරි ,මේකෙන් කරන්නේ Digital format එකින් (1 සහ 0 ) store කරල තියෙන audio file එක analog signals බවට හරවල දෙන එක.එතකොට තමා අපිට headphone එකෙන් ඒක අහන්න පුලුවන් වෙන්නේ.ඒනම් ඕව නැතුව අපූරුවට අපි ෆෝන් එකට / pc එකට කෙලින්ම headphone එක ගහල සින්දු අහන්නේ?
ඔව් මොකද ඒ device වලත් DAC එකක් තියනවා ඇතුලේ. ඒත් ඒවා ගොඩක් basic ඒව හුගක් වෙලාවට.
DAC එකකින් Digital වල ඉදන් Analog වලට convert කරනකොට 100% ම ඕක වෙන්නේ නෑ හරියට . මේවට කියනවා clocking errors කියල. External DAC හදල තියෙන්නේ අන්න ඒවා ගොඩාක් අවම කරලා effective විදියට අපේ audio එක reassemble කරල දෙන්න.ඒ වගේම ගොඩක් වෙලාවට මේ External DAC එකින් audio signal එක Amplify කරලත් දෙනවා external power source එක ආදාරයෙන්.ඉතින් කියන්න තියෙන්නේ ඔයා කොච්චර හොඳ headphone එකක් ගත්තත් අහන්නේ phone එකේ හෝ pc එකේ DAC එක පාවිච්චි කරල නම් ඒ ගැන ආයෙම හිතල බලන්න.
2) Ear Tips.
කොච්චර හොද in ear headphone එකක් ගත්තත් වැඩක් නෑ හොද eartips පාවිච්චි නොකර. මොකද අපේ කන හරියට සීල් නොවී තිබ්බම sound leakage වලට හේතුවක් වෙනවා. ඒ නිසා තමන්ට ගැලපෙන size එකේ හොදට සීල් වෙන eartips තෝර ගන්න ඕන.eartips තියනවා කීපයක්
silicone eartips.
ඒව තමා ගොඩක් වෙලාවට එන්නේ අපිට in ear headphone එකක් එක්කල.
memory foam ear tips
තව ජාතියක් තමා memory foam ear tips කියලා.ඒවා ශ්‍රවන නාලයේ (කන් කුහරයේ )හැඩය අනුව ෆිට් වෙන ස්වාභාවයක් තියෙ.මේව ගොඩක් comfort වගේම හොදින් කන සීල් කරන්න සමත් වර්ගයක් විදියට පිලි ගන්නවා.පොඩි මුදලකට ඕව ගන්නත් පුලුවන්.
තව rubber eartips,hybrid eartips කියල එහෙම වර්ග තිබ්බත් උඩ ජාති දෙක තමා සාමාන්‍යෙන් භාවිත වෙන්නේ.
3) Burning
මේකෙ තේරුම හෙඩ්ෆෝන් එක headphone පාවිච්චි කරද්දි කරද්දි තමා වඩා හොදට tune වෙන්නේ.තවත් ඒව තියෙ ආයෙ අලුතෙන් burn කරල tune කරන්න ඕන නැති. ඒව box එකෙන් ගත්ත ගමන් සාමාන්‍ය විදියට use කරන්න පුලුවන්.
4) Ear Tips.
Sample rate කතාව එන්නෙ analog විදියට තියන ධ්වනිය digital විදියට අපි convert කරනකොට.
අපි ධ්වනි තරංගයක් ප්‍රස්ථාරයක ලකුණු කලා කියල හිතමු,ඕකේ x අක්ෂයක් සහ y අක්ෂයක් තියෙ නෙහ්.
අපිට තරංගයේ ලක්ෂ්‍යයක් x සහ y ඛණ්ඩාංක වලින් කියන්න නේද.
ඛණ්ඩාංක කියන්නේ අංක.ආන්න ඒ කියන්නේ අපිට පුලුවන් අංක විදියට ධ්වනි තරංගය පරිගණක වල ගබඩා කරන්න.
මොකද analog විදියට නෙහ් බැරි.
ඉතින් මේ වගේ sound wave එකක එක තප්පරේකට තැන් කීයක samples ගන්නවද කියන එක.
අපි හිතමු තප්පර එකකට sample 10 ක් ගත්ත කියල. එතකොට sample rate එක 10Hz වෙනව.
පහල රූපෙ බැලුවම තේරෙයි.
ඊලගට තප්පරයකට sample දහයක් අරන් තියෙ.ඒ කියන්නේ 20Hz.
දැන් මේ දෙක compare කරල බලන්න.
original wave එකට වඩාත් ලගින් යන්නේ sample rate එක වැඩි උනාම කියල පේනවා නේද.
ඉතින් සාමාන්‍යෙන් sample rate එක 44.1kHz.
ඒ කියන්නේ 44100Hz.
44.1kHz තමා පාවිච්චි වෙන්නෙ mp3 වගේ ගොඩක් audio format වල. දැන් හැබැයි Hi Res Audio වල වගේ ඊට ඉහල ඒවත් එනව දැන්.
5) Bit depth
මේක අරකට වඩා ටිකක් සංකීර්ණ දෙයක්.Bit depth එක මනින්නේ bit වලින්.
පහල ප්‍රස්ථාරය බලන්න. ඒකේ සමහර ලකුණු කරපු තැන් හරියටම Y අක්ශයේ රේඛා එක්ක සමපාත නෑ.අතරමැද වගේ යන ඒවා තියනව නේද.
මන් කීපයක් ලකුණු කලා.පහල රුපය බලන්න.
අන්න ඒවගේ තැන් digital වලට convert වෙද්දි ආසන්න ගනන් වලට වටයල තමා ගන්නේ.
ඉතින් මේ bit depth එක වැඩි වෙන තරමට නිරවද්‍යතාවය වැඩී වෙනවා.පහල ප්‍රස්තාරය බලන්න.ප්‍රස්ථරයේ අක්ෂ ගොඩක් තියනවා.ඒ නිසා එක්කෝ හරියටම sample එක ප්‍රස්ථාරයේ අක්ෂ එක්ක සමපාත වෙනව.නැතත් වටයල ගන්න අගය හරිම එකට වඩා හුගක් එහා මෙහා වෙන්නේ නෑ අක්ශ ලකුණු කරල තියෙන්නෙ ලගින් නිසා
6) Bit rate
Bit rate එකෙන් අදහස් වෙන්නේ audio එකක් compress කරද්දි අඩංගු වෙන් data bandwidth එක.compress කරද්දි දත්ත නැති (loose) වීමක් වෙනව. ඉතින් මේ bit rate එක වැඩි නම් compress වෙලා තියන දත්ත ගාන වැඩි
64kbps එක්ක බලද්දි 256kbps mp3 එකක ගුණාත්මක බාවය වැඩී ඒ කියන්නේ.
FLAC වගේ ඒවගේ kbps ගාන ගැන ගොඩක්ම වැඩි 900ගනන් වලටත් උඩින් යනවා සාමන්යෙන්.
7) Hi Res AUDIO
audio එකක quality එක මනින්න පුලුවන් Sample rate එකයි Bit rate එකෙනුයි. ඒත් තාක්ෂනයේ දියුණුව එක්ක අපි CD වලින් සින්දු අහනව වෙනුවට දැන් phone එකකින්, pc එකෙන් හෝ වෙන device වලින්. මේවගේ mp3 වගේ format එකකින් තමා සින්දු ( store ) ගබඩා කරල තියන්නේ.ඒත් අවුල තමා මේ mp3 format එකට audio එකක් compress කරද්දි අර quality එක බහින එක.mp3 වල 320kbps bit rate එක තමා ඉහලම bitrate එක විදියට ගන්නේ .ඊටත් අඩු 192kbps, 64kbps වගේ තව තව අඩු වෙනව කියන්නේ quality එකත් අඩු වෙනවා කියන එක.ඒත් පස්සේ high resolution audio ආවට පස්සේ ඉහළ ගුණාත්මකභාවයක් සහිත CD quality එක වෙන 16bit:44.1kHz වෙනුවට ඊටත් ඉහල 24bit:96kHz or higher වලින් hi res audio files නිකුත් කරන්න පුලුවන් උනා.
MP3,AAC එහෙම Hi res නෙවෙයි.lossy compressed format විදියට ගන්නෙ data loss වෙන නිසා.computer,mobile ෆෝන් ඉස්සර support කරන නිසා,size එක අඩු නිසා ජනප්‍රියයි මේ formats.
WAV, FLAC,AIFF,ALAC,DSD වගේ Format තමා Hi res audio වලට උදාහරණ. මේවග lossless compression format නිසා audio quality එක වගේම size එකත් වැඩි හැබැයි 😉.
එහෙනම් මෙතනින් ඉවර කරන්නම් ලිපිය.ඒ වගේම මේ ලිපිය basic ගැන තමා ලිව්වෙ මන්.තව ගොඩක් කරුණු තියෙ.sample rating එහෙම සෑහෙන්න සරල කලා Nyquist theory එහෙම වගේ ගොඩ දේවල් මේකේ නෑ ,ඒ නිසා මේව ගැන හොදට දන්න කෙනෙක්ට ලිපිය දැකල කේන්ති යාවිද දන්නෙත් නෑ මේ මොනාද මේ කියල.තේරුම් ගැනීමේ පහසුවට physics වල සමහරක් දේවල් සහ උඩ කිව්ව වගේ බරපතල දේවල් මම අත ඇරල ලිව්වට සමාවත් ඉල්ලලා , වැරදි තියෙන්න පුලුවන් ඒව පෙන්වල දෙන්න මම කැමති ඒව අහල හදා ගන්නත් කියලා ලිපිය ඉවර කරන්න යන්නේ.
එහෙනම් ජය.
.
.
.
.
ආහ් තාම කියෝනවද.ම්ම්ම්. එහෙනම් , මම අත ඇරපු physics කෑල්ලක් එහෙම කියන්නද. මේව headphone තෝරන්න නම් ඕන වෙන්නේ නෑ. ඔයා නෙහ් ඉතින් කියෝගෙන ආවෙ මෙතනටම ඉවර කලාම ලිපිය උඩින්.
පටන් ගන්න හරියෙ මම කිව්ව නේද වතුර රැලි ගිහින් බේසමේ බිත්තියේ වදිනව "වගේ" කියල. වගේ කිව්වේ මොකෝ දන්නවද. දැන් ඔයා තට්ටු කරන තැන වතුර බිංදුවක් ගැන හිතන්නකො.ඒක යන්නේ නෑ කොහෙවත්. එතනම උඩ පහල යන එක වෙන්නේ. ඒක ශක්තිය අරන් උඩ යනව.ඊලගට ශක්තිය ඊලග අංශුවට සම්ප්‍රේෂණය කරනවා.ඉතින් අපිට හිතෙන්නෙ රැල්ල එක්ක වතුර ගිහින් වදිනව කියල බේසමේ බ්ත්තියෙ. වාත අංශුවත් එහෙමයි. ශක්තිය තමා සම්පීඩන විරලන විදියට සම්ප්‍රේෂනය වෙන්නෙ.
ආයේ පූර්ණ තරංගයක් වෙන්න හරියටම X අක්ෂයේ 0 තැනින් පටන් අරන් ඊලගට ආයේ 0 ඡේදන උන තැනින් නතර වෙන්න ඕන නෑ. පටන් ගත්ත තැනට සමාන ඊලග ලක්ෂ්‍ය ගාවට ගියාම ඒක පූර්ණ තරංගයක්.මහා දෙයක් නෙවෙයි ඒත් ඕව අර ලිපියෙ අස්සේ ගහන්න ගියා නම් ජංජාලයයි
ඒකයි ඕව කියන්න ගියෙ නැත්තේ මන්.
දැන් නම් ඉවරයි ඈ .😎
1 comments
Thanks 🥰
ReplyDelete